පවු පිරේවි නුඹට

නුඹ වෙනුවෙන්
එකදු කඳුලක්
කිසි දිනෙක
නොසැලූ නෙතක් නිසා...
නුඹ වෙනුවෙන්
සයුරක හැඬූ
නෙතකට
එපා කදුලු දෙන්න තවත්
පවු පිරේවි මිතුර නුඹට...

දන්නවද?

මෙන්න මගේ හදවත
සෙල්ලම් කරපියවු ඇති වෙනකන්
හම ගැහිලා පතුරු යනකන්
විසික්කපන් කොහාට හරි
ඇති උනාම තොපිට...
මම හොයාගන්නම් කොහොමහරි
හොඳ කරගන්නම් බෙහෙත් දාලා...
හැබැයි තොපි දන්නවද
ඒ බෙහෙත් මොනාද කියල
මං දන්නෙ නෑ කියල???

පරාජිතයා

එදා...
මුසාවට, අඳුරට
පැරදුනු නුඹ
අද...
නුඹටම පැරදී
හඬා වැටෙනයුරු
නොපෙනේද කුමරියේ?
විමසා බලන් නැවත වරක්
මම නොවෙයි පැරදුනේ
පරාජිතයා නුඹයි
පිවිතුරු ප්‍රේමයේ...

නෙතු පෑදේවා

සුව වේවා නෙතු
සියල් පැතුමින්
පෙර මං සුභයි
සොයුර නෙතු යොමන්
වලා පටල බැඳි සියල්
බිදී යේවා ඉදින්
නෙතු පෑදේවා ඔබ
මින් මතු නිතින්...

ආත්ම වංචාව

"මේ පෙම නොවේ" යැයි
නුඹ පැවසූ වදනට
හද පත්ලෙන් නැඟී
නෙතු අගින් රූරා හැලෙන
කඳුලු බිඳුව
අත්ල ට ගෙන බලන්න...

කියන්න ඉතින්
එයත් කඳුලක්
නොවේ කියා .....

තීන්දුව

විනිසුරු ද
ජූරිය ද
නුඹ ම වූ උසාවියේ
පැමිණිලිකරු ද
සාක්ෂිකරු ද
විත්තිකරු ද
මම වෙමි...

ඉතිරිව නැත තවත්
එකදු පැමිණිල්ලක්
එකදු සාක්ෂියක්
එකදු කරුණක් නිදහසට...

ඉතින් දෙනු මැනවි තීන්දුව
මම ම නොවෙ ද වැරදිකරු?

(නො)නිමි ...

ගයන්නට වදනක් ද
වයන්නට තනුවක් ද
නොමැති
නොනිමි වූ ගීයක
රස විදිමි
අඳුරු කුටියක
නිසල සයනෙක
හුදෙකලාවක
අතරමං වී ...