සිහින සිත්තම
මකුළු හුයකින් බැඳි
සිහින සිත්තම
ප්‍රේමයේ රුදු මාරුතයෙන්
බිඳී විසිරී ගියා...
වියාගන්නට යළිත් වෙර නෑ
සැඬ සුළං රැළි තවම නිම නෑ
සිහින සිත්තම විසිරී ගියා...
තැවෙන්නට නම් සිතක් තව නෑ
ලියන්නට තව වදන් මට නෑ
සිහින සිත්තම විසිරී ගියා...
සැදැහැ සර
සුමියුරු පදවැලක එතුණු
සුලලිත ස්වර පෙළකින් තරම්
සුවයක් ලද හැකිද වෙනත් යමකින්....
සුවහසක් විඩා මැඬ
සුන්දරවු මිනිසුන් මැද
සුවබර සැඳෑ යාමයක
සුවපත් වුණෙමි විඳ
සුමිහිරි සැදැහැ සර.....
~ කොළඹ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යනායතනයේ දී 2012.05.31 දින පැවැති "පොසොන් සැදැහැ ගී සරණිය - 2012" වෙනුවෙනි...
පුනරාගමනය
දිනෙක,
නුඹ මා සොයා ආවාය
මිතුරු බස් තෙපලමින්
මා ළඟම රැඳුනාය
නමුදු...
මම නුඹට වෙර කළෙමි
නුඹව පන්නා දැමුයෙමි
අද,
යළිදු නුඹ ගෙන්වා ගතිමි
දනිමි...
නුඹට මම පෙම් කළෙමි
ඔව්, නුඹට පෙම් බඳිමි
ඉතින් ළඟ ඉනු මැනවි
මා සොඳුරු තනිකම...
නුඹට ජය
දෙනුවන විය
දෙසවන විය
රැවැටුණු විට
පැරැදුණු විට
දිවි කතර
අතරමඟ...
හමුව ඇත
කෙම්බිමක්
දැන් නුඹට...
සැරිසරන් තුටින්
සැමදා ඉතින්...
නෙලන් රිසි සේ
පෙම් අම පල...
පතමි සොයුර
මුළු හදින්
නුඹට ජය...
නෙතු
සොයුරිය
සුරැකිව තිබුණි නම්
නෙතු යුගල
නුඹේ...
විඳින්නට
නොව
අසිරි
ලොවෙහි...
දැකගන්නට
පමණක්
අසිරි
නුඹ මුවෙහි...
හිතල නැතුව වෙන්න ඇති...
උඹත් එක්ක මම වචන දහයක් වත්
කතා කරන්න නැතුව ඇති
ඒත් උඹ ගාව හිටන් ඉන්නකොට
මට දාපු එකම එක කොමෙන්ට් එක මතක් උනේ
හිතල නැතුව වෙන්න ඇති
"අපෝ ඔය රාජපක්ෂලා ගැන නම් කතා ඕනෙ නෑ..."
ඒ කොමෙන්ට් එක මතක් වෙලා හිනා ගියෙත්
හිතල නැතුව වෙන්න ඇති
එළියට එද්දි ආයෙත් හැරිල බැලුනෙ
හිතල නැතුව වෙන්න ඇති
ඒ හැරිල බලද්දි ඇස් දෙකට කඳුලක් ඉනුවෙත්
හිතල නැතුව වෙන්න ඇති...
Subscribe to:
Posts (Atom)