චිරං ජයතු.....


උපන් දින උත්සවේ - පෝස්ටර් හැමතැනම
වෙඩි මුරත් ඇහෙනවා - යකඩ කට අඬනවා...

ඒත් මට එන්න බෑ - දෙපයටම වාරු නෑ
ආවත් බලන්න බෑ - මගේ ඇස් දෙකම නෑ...

අද මගෙත් උපන්දිනේ - කවුරුත්ම ආවේ නෑ
කාටවත් මතක නෑ - ඒත් මට කමක් නෑ...

කඳුළක් වැටෙනවා - කම්මුලට දැනෙනවා
එ කඳුළු පිසූ අත් - නැති අඩුව දැනෙනවා...

වෙඩි සද්දේ දෙසවනේ - තාම රැව් නඟනවා
ඒ සද්දෙ උඹට නෑ - මට සතුටු දැනෙනවා...

"චිරං ජයතු මහරජාණෙනි" - ඝෝසාව ඇහෙනවා
හුදෙකලා සයනයේ - මම නිදාගන්නවා......

සොඳුරු දනව්වට....


මතකය දිව්වා ටිකක් අතීතයට
මතක් උනා මේ පද ටික
හරියටම
2010 අප්‍රේල් 24 වෙනිදා හවස 6.43 ට
දාපු මගේ සිතුවිල්ල...

සොඳුරු දනව්ව

"අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්

ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ... "
(http://sithuwilla.blogspot.com/2010/04/blog-post_24.html
)

අද මට හිතුණා
ඒකට පොඩි උත්තරයක්...
මෙන්න ඒ සිතුවිල්ල....


"ලැබුණි පැතු සේ
පියපත් යුගලක්
පිවිතුරුය - සුන්දරය
රැකගනිමි ඉඳින්
රුදුරු වරුසාවෙන්...
රැඳෙනු මැන
සැමදා දිදුළමින්...
පියඹමි තුටින් දැන්
ඒ සොඳුරු දනව්වට
අනාගතයේ.....

ඒ ලේත් රතුයි අම්මේ.....


උන් මාව අරන් ගිය දවසෙ
උඹ ඇඬුව හැටි මතකයි අම්මේ
තුවක්කුව දුන්නට
මට කොකා ගහන්න
හයියක් නෑ අම්මේ
මට කවුරුත් මරන්න
ඕනෙ උනේ නෑ අම්මේ....
මම වෙඩි තිබ්බා
ඒත් පත්තු උනේ නෑ අම්මෙ
මට වෙඩි වැදුණා
මට ලේ ගලනව
දැනුණා අම්මේ.......
මට වෙඩි තිබ්බ
ඒ අයියගෙ මූණ
හරි අහිංසකයි අම්මේ
ඒ අයියත් වැටුණ
එයාගෙත් ලේ ගැලුවා
ඒ ලේත් රතුයි අම්මේ
එයා මං දිහා බලල
මොනාද කිව්ව අම්මේ...
මං සිංහල දන්නෙ නෑ
ඒත් මට තේරුණා අම්මේ
"මට සමාවෙයන් මල්ලී...."
මම සමාව දුන්නා අම්මේ.......
ඉතින් මම යනවා
නංගිව මතක් කළා
කියපන් අම්මේ........

සඳම නුඹයි ...


පැතුම
යළි පුබුදුවාලූ ...
සිතම
යළි කළඹවාලූ ...
හදම
යළි තෙරපුවාලූ ...
සඳම නුඹයි
රෑ අහස සනසවාලූ ...