කෘතගුණය


ඇඟ ලේ කිරි කර පොවලා
කැත කුණු හෙම අතගාලා
නිති සෙනෙහස පෙන්නා ඈ
ළයෙහි හොවා නුඹ රැක්කා...

වියැළුණු දුරු කතර ගෙවා
නොතොරක් දහදිය සලළා
නුඹේ සිනා හින්දයි ඔහු
නොවිදින දහ දුක් වින්දේ...


සැප සම්පත් වැඩි වීලා
දිවි මංපෙත පැටලීලා
කොහිදැයි දැන් යන්නේ නුඹ
දෙගුරුන් අමතක කරලා...

ඇති සැටිය


කළලයක් - කළලයක්
ළඳරුවෙක් - ළඳරුවෙක්
දරුවෙක් - දරුවෙක්
මිනිහෙක් - මිනිහෙක්
සිංහල මිනිහෙක් - මුස්ලිම් මිනිහෙක්
බෞද්ධ මිනිහෙක් - ඉස්ලාම් මිනිහෙක්
කඩුවක් - කඩුවක්
මරණයක් - මරණයක්
මළ මිනියක් - මළ මිනියක්
මළ කුණක් - මළ කුණක්
ඇට සැකිල්ලක් - ඇට සැකිල්ලක්

පිපෙණු මැන සියපත


සහසකුත් පිනි බිඳු බර දරන්නට නොව
හිරු කිරණ වැද
විකසිතව
මකරන්ද
සුගන්ධ
විහිදුවන්නට
පිපෙණු මැන
සියපත...

සිහින සිත්තම


මකුළු හුයකින් බැඳි
සිහින සිත්තම
ප්‍රේමයේ රුදු මාරුතයෙන්
බිඳී විසිරී ගියා...


වියාගන්නට යළිත් වෙර නෑ
සැඬ සුළං රැළි තවම නිම නෑ


සිහින සිත්තම විසිරී ගියා...


තැවෙන්නට නම් සිතක් තව නෑ
ලියන්නට තව වදන් මට නෑ


සිහින සිත්තම විසිරී ගියා...

සැදැහැ සර


සුමියුරු පදවැලක එතුණු
සුලලිත ස්වර පෙළකින් තරම්
සුවයක් ලද හැකිද වෙනත් යමකින්....

සුවහසක් විඩා මැඬ
සුන්දරවු මිනිසුන් මැද
සුවබර සැඳෑ යාමයක
සුවපත් වුණෙමි විඳ
සුමිහිරි සැදැහැ සර.....


~ කොළඹ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යනායතනයේ දී 2012.05.31 දින පැවැති "පොසොන් සැදැහැ ගී සරණිය - 2012" වෙනුවෙනි...